රුසියාවේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක ගෲප් කැප්ටන් එස්.ආර්. ජයරත්න මහතාගේ පුත්‍රයා වන දම්සිත් ජයරත්න ශිෂ්‍යයා දේශීය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළේය. විදේශ රටවල සේවය කරන ආරක්ෂක උපදේශකවරුන්ගේ දරුවන්ට දේශීය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පනවා තිබූ වසර තුනක අනිවාර්ය විදේශ අධ්‍යාපන කාලසීමාව යන කොන්දේසිය මගින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව අධිකරණය මෙහිදී තීන්දු කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට පෙන්වා දුන්නේ, සිය පියා වසර දෙකක කාලයකට පමණක් මොස්කව් නුවර සේවයට අනුයුක්ත කර සිටි බැවින් වසර තුනක කොන්දේසිය සම්පූර්ණ කිරීම ප්‍රායෝගික නොවන බවයි. පෙත්සම්කරු මොස්කව්හිදී CBSE විෂය නිර්දේශය හදාරා ඉහළම සාමාර්ථ (A ශ්‍රේණි) ලබා තිබුණද, මෙම වසර තුනේ කොන්දේසිය මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අදාළ අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබුණි. විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව ප්‍රකාශ කළේ, වගකිවයුතු ආයතනයක් විසින් මෙවැනි තීරණයක් ගැනීම අනුමත කළ නොහැකි බවත්, එම තීරණය වෙනස් කොට පෙත්සම්කරු වහාම වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගත යුතු බවත්ය.














