පෙබරවාරි 05 – ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂ සහනයක් සලසමින්, මෙතෙක් පැවති රැකියා අවස්ථා දෙකක සීමාව අවස්ථා තුනක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) තීරණය කර තිබේ. මෙම වරප්‍රසාදය හිමිවන්නේ දැනට ක්‍රියාත්මක බඳවා ගැනීමේ වටය සඳහා පමණක් බව කාර්යාංශය අවධාරණය කරයි. ඒ අනුව, ඊශ්‍රායලයේ පවතින රැකියා කිහිපයක් සඳහා මාර්ගගතව (Online) අයදුම්පත් භාර ගැනීම හෙට (06) සිට එම කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහා ආරම්භ කෙරේ.
මෙම බඳවා ගැනීම් යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්බි බැඳීම, බදාම පිරියම් කිරීම, කොන්ක්‍රීට් ආකෘති සකස් කිරීම, වඩු කාර්මික සහ ටයිල් ඇල්ලීම යන අංශයන්හි ඇබෑර්තු පවතින අතර, ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ පොදු කම්කරු සහ ටයිල් සවිකිරීම් වැනි රැකියා සඳහා ද අවස්ථාව පවතී. සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට www.slbfe.lk වෙබ් අඩවියට පිවිස උපරිම රැකියා කාණ්ඩ තුනක් යටතේ අයදුම් කළ හැකි බවත්, වෙනත් බාහිර පාර්ශවයන්ට හසු නොවී නිල වෙබ් අඩවිය හරහාම පමණක් අයදුම් කරන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.













