පෙබරවාරි 05 – ඩුබායි, රුමේනියා සහ මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් වැටලීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සමත් විය. මුල්ලේරියාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පවත්වාගෙන ගිය මෙම ජාවාරම සම්බන්ධයෙන් උඩමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 03 වනදා අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී ඇය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 154ක්, රැකියා ගිවිසුම්, වෛද්‍ය වාර්තා සහ අයදුම්කරුවන්ගේ ජීවදත්ත තොරතුරු ඇතුළත් ලිපිගොනු රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාරිය 2016 වසරේදී වලංගු බලපත්‍රයක් සහිතව ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති නමුත්, ලැබුණු පැමිණිලි මත ඇයට එරෙහිව නඩු 11ක් පවරා තිබීම හේතුවෙන් ඇගේ බලපත්‍රය අත්හිටුවා තිබූ බවයි. එසේම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇයට එරෙහිව විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබූ බව හෙළි විය. කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකාරිය ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.














