හෙට (07) ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. ලබන මාර්තු 08 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම සැලැස්ම ප්‍රධාන වශයෙන් මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ කුරුඳුවත්ත එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණය අවට ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනු ඇත. දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් පැමිණීමට නියමිත බැවින් තරග පැවැත්වෙන දිනයන්හිදී මාර්ග තදබදය අවම කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
කොළඹ රථවාහන කොට්ඨාසය සඳහන් කරන පරිදි, තරග පැවැත්වෙන වේලාවන්හිදී ක්‍රීඩාංගණ අවට ඇතැම් මාර්ගවල ගමනාගමනය සීමා කෙරෙන අතර විකල්ප මාර්ග සහ විශේෂ වාහන නැවැත්වීමේ ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිතය. මෙම විශේෂ රථවාහන සැලැස්ම හරහා නගරයේ දෛනික රාජකාරී සඳහා පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට උපරිම පියවර ගන්නා බව ද පොලිසිය වැඩිදුරටත් කියා සිටී.














