T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
තරගාවලිය පැවැත්වෙන කාලය තුළ දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 600ක් සේවයේ යෙදවීමට කටයුතු යොදා තිබේ. ආරක්ෂක පියවරක් ලෙස ක්‍රීඩාංගණ තුළට විශාල ප්‍රමාණයේ ගමන් මළු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි මෙන්ම මත්ද්‍රව්‍ය හා මත්පැන් රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව පොලිසිය අවධාරණය කරයි.
ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ සැකකටයුතු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් ද ක්‍රීඩාංගණ පරිශ්‍රය තුළ සහ අවට විශේෂ සේවයේ යොදවා ඇත.














