පෙබරවාරි 06 – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව ලොව සෑම පුද්ගලයන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික රෝගයක් තිබීමේ හැකියාව පවතින බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIMH) අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පවසයි. ඊයේ (05) පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ වර්තමානය වන විට මානසික සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කිරීම අතිශය තීරණාත්මක වී ඇති බවයි.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් පමණක් වසරකට රෝගීන් 50,000කට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගන්නා අතර, දිනකට සායන 600කට ආසන්න සංඛ්‍යාවක් පවත්වන බව වෛද්‍යවරයා අනාවරණය කළේය. මානසික ගැටලු පවතින ඕනෑම අයෙකුට 1926 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ උපදෙස් ලබාගත හැකි අතර, තරුණ පිරිස් අතර ජනප්‍රිය වට්සැප් (WhatsApp) සේවාව හරහා ද උපදේශනය ලබාදීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම කතා කිරීමට මැලිවන තරුණ තරුණියන් සිය ගැටලු පණිවිඩ මගින් යොමු කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බව ද මෙහිදී සඳහන් විය.














