පෙබරවාරි 06 – මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට ඇමරිකානු භාරයේ පසුවන වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මධුරෝව තම රටට පිටුවහල් කරන ලෙස ආර්ජන්ටිනාව නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ආර්ජන්ටිනාවේ ෆෙඩරල් විනිසුරු සෙබස්තියන් රාමෝස් (Sebastián Ramos) මහතා විසිනි.
පසුගිය ජනවාරි 03 වනදා ඇමරිකානු හමුදා විසින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී (Operation Absolute Resolve) නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ කරාකස් අගනුවරදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් මේ වන විට නිව්යෝර්ක් හි බෘක්ලින් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියි. ඔවුන්ට එරෙහිව ඇමරිකාව තුළ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය පිළිබඳ නඩු විභාගයක් පැවැත්වෙන පසුබිමක, ආර්ජන්ටිනාව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ 2023 වසරේදී එරට මානව හිමිකම් සංවිධාන විසින් ගොනු කරන ලද නඩුවකට අදාළවය.
පෙබරවාරි 04 වනදා අත්සන් කරන ලද මෙම නියෝගය මගින් විනිසුරු රාමෝස් පෙන්වා දී ඇත්තේ ‘විශ්වීය අධිකරණ බලය’ (Universal Jurisdiction) යන මූලධර්මය යටතේ ඕනෑම රටකදී සිදුවන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ආර්ජන්ටිනාවට නඩු පැවරීමේ හැකියාව පවතින බවයි. 2014 වසරේ සිට වෙනිසියුලාවේ විරෝධතාකරුවන් සහ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරමින් සිදු කළ වධහිංසා පැමිණවීම් සහ ඝාතන සම්බන්ධයෙන් මධුරෝ වගකිව යුතු බවට ආර්ජන්ටිනාව චෝදනා කරයි. දෙරට අතර පවතින 1997 පිටුවහල් කිරීමේ ගිවිසුම යටතේ මෙම ඉල්ලීම සිදු කර ඇති අතර, ආර්ජන්ටිනාවේ විදේශ අමාත්‍යාංශය හරහා එය වොෂින්ටනය වෙත යොමු කිරීමට නියමිතය.














