රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් වැඩි කිරීම සඳහා පමණක් 2027 වසර වන විට රුපියල් කෝටි 33,000ක අතිවිශාල පිරිවැයක් දැරීමට රජය සැලසුම් කර ඇති බැවින්, එතෙක් කිසිදු අමතර දීමනාවක් වැඩි කිරීමට පියවර නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ප්‍රදානය කිරීම සඳහා අද (06) මහනුවරදී පැවති වැඩසටහන අමතමිනි.
“කවුරු මොන විදිහට උද්ඝෝෂණය කළත්, පාරේ හිටියත් 2027 වසරේ තුන්වැනි වැටුප් වර්ධකය ලබා දෙන තෙක් දීමනා වැඩි කරන්නේ නැහැ” යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී සෘජුව ප්‍රකාශ කළේය. රජයේ අවධානය යොමු වී ඇත්තේ මූලික වැටුප් වැඩි කිරීමට මිස දීමනා පසුපස හඹා යාමට නොවන බවත්, අයවැයට ඔරොත්තු දෙන පරිදි පමණක් තීරණ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, අයථා ලෙස උපයාගත් දේපළ පවරා ගැනීමටත්, සංවිධානාත්මක අපරාධ හා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමටත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නව නීති සකස් කරන බව පැවසීය. “නීතියේ රේඛාවට උඩින් කිසිම කෙනෙකුට පනින්න බැහැ, මේ පරිවර්තනය වැරදි කරන අයට රිදේවි” යනුවෙන් ද ඔහු අවධාරණය කළේය.














