තම ගැටලුවලට රජයෙන් සාධනීය විසඳුම් නොලැබීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියේදී තවදුරටත් තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි. අද (06) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය අවධාරණය කළේ රෝහල්වල නොමැති ඖෂධ සඳහා බාහිරව ලබා ගැනීමට තුණ්ඩු නිකුත් නොකිරීම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 06ක් මේ වන විටත් දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි.
විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සහ නිදහස් සෞඛ්‍ය පද්ධතියේ පවතින අර්බුද සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් පොරොන්දු ලබා දුන්නද, මේ වන විට එම පොරොන්දු ඉටු නොකර දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව වෛද්‍යවරු චෝදනා කරති. මෙම තත්ත්වය හමුවේ රෝගී සත්කාරක සේවාවලට සිදුවන බලපෑම නොසලකා සිය අරගලය දැඩි කිරීමට සිදුවන බවත්, ඒ පිළිබඳ අවසන් තීරණ ගැනීමට සාකච්ඡා පවත්වන බවත් සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.














