දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු සහ අනෙකුත් උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව 2026 පෙබරවාරි 02 දිනැති අති විශේෂ ගැසට් නිවේදන මඟින් අදාළ අයදුම්පත් කැඳවා තිබේ.
මෙහිදී ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ අයදුම් කළ හැකි අතර 2023.02.10 දිනට වයස අවුරුදු 45ට නොවැඩි සහ එදිනට උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ, දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අයදුම් කිරීමට අවස්ථාව ඇත. අනෙක් කාණ්ඩය වන්නේ 2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, රාජ්‍ය සේවයේ නියුතු නොවන හෝ එම දිනෙන් පසුව පත්වීම් ලැබූ සහ පසුකාලීනව උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ය.
2023 ජනවාරි මස පළ කළ ගැසට් නිවේදනයට අනුව දැනටමත් අයදුම් කර ඇති, තවදුරටත් රාජ්‍ය සේවයේ සිටින පිරිස නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. එහෙත් ඔවුන්ගේ ලිපිනය හෝ දුරකථන අංක වෙනස් වී ඇත්නම් පමණක් විභාග දෙපාර්තමේන්තුව හරහා ඒවා සංශෝධනය කළ හැකිය. වැඩිදුර විස්තර සඳහා 1988 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112-784819 යන අංක සම්බන්ධ කර ගත හැකිය.














