ආණ්ඩුව හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන බැවින්, ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය (SJB) තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සියලු දෙනා එකඟ වුවද, ඒ සඳහා හදිසි නීතිය අත්‍යවශ්‍යද යන්න ඔහු රජයෙන් ප්‍රශ්න කර සිටියේය. කුණාටුව පැමිණ මාස දෙකකට ආසන්න කාලයක් ගතවී තිබියදීත් රට යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීම නිසා මෙලෙස හදිසි නීතිය ගෙන එන්නේදැයි ඔහු විමසා සිටියේය.
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා සිව්නමක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ද හදිසි නීතිය යොදාගෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඔවුන්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉවත් කරගන්නේ නම් පමණක් ඇප ලබා දෙන බවට පොලිසිය පවසන බවට ද චෝදනා කළේය. ආණ්ඩුවට එරෙහි පිරිස් මර්දනය කිරීමේ අරමුණින් මෙම නීතිය ක්‍රියාත්මක කරන බැවින් ඊට එරෙහිව සිය පක්ෂය පෙනී සිටින බව මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














