මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනය සඳහා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා කාලය තුළ සැකකරුවන් 88,177ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා සිට ඊයේ (05) දක්වා සිදුකළ වැටලීම් 88,874කදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනය තුළ පමණක් සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයින් 25,170ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී සැකකරුවන් 602ක් සහ වරෙන්තුකරුවන් 401 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එදිනම මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් 801 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 349ක්, අයිස් ග්‍රෑම් 470ක් සහ ගංජා ග්‍රෑම් 861ක් සොයාගෙන තිබේ.
මීට අමතරව, ඊයේ දිනයේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 338 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 83 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සමස්ත මෙහෙයුම් යටතේ මේ වන විට සැකකරුවන් 1,540ක් පුනරුත්තාපනය සඳහා යොමු කර ඇත.














