මහරගම නගර සභාවේ අද (06) පැවති සභා වාරය කරුණු කිහිපයක් මුල් කරගනිමින් දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.
මෙහිදී ප්‍රධාන වශයෙන් විරෝධය එල්ල වූයේ නව රජය පත්වීමෙන් පසුව කොට්ටාව සහ තලවතුගොඩ යන ප්‍රදේශවල අලුතින් සුරාසැල් දෙකක් ආරම්භ කිරීමට අවසර දීම සම්බන්ධයෙනි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් සභා ගර්භය තුළ විරෝධතාවයේ නිරත වූහ.
මීට අමතරව, මහරගම නගර සභාවේ සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය මහජනතාවට සැරපරුෂ ලෙස කතා කිරීම සහ මාලිමාවේ ලැයිස්තුවේ සිටින මන්ත්‍රීවරියක් නල්ලවත්ත ප්‍රදේශයේ මාර්ගයක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම යන චෝදනා ද සභාවේදී දැඩි ලෙස කතාබහට ලක් විය. “අපේ ආණ්ඩුව, අපේ ජනාධිපති, හොඳින් හෝ නරකින් මේ පාර පළල් කරලා පවරා ගන්නවා” යනුවෙන් එම මන්ත්‍රීවරිය ප්‍රකාශ කර ඇති බවට මෙහිදී අනාවරණය විය.
මෙම කරුණුවලට විරෝධය පළ කරමින් නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා කළු පටියක් පැළඳ සභාවේදී සිය විරෝධය පළ කළේය.













