කිසිදු බලපත්‍රයකින් තොරව නීතිවිරෝධී ලෙස මෙරටට ඇන්තූරියම් පැළ තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය, ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරක්ෂණ අංශය සහ ගුවන් තොටුපොළ රේගුව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළඹ පදිංචි 45 හැවිරිදි සහ අවිස්සාවේල්ල පදිංචි 40 හැවිරිදි කාන්තාවන් බව වාර්තා වේ.
ඔවුන් විසින් මෙලෙස හොර රහසේ රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඇන්තූරියම් පැළ 436 ක් සොයාගෙන තිබේ. මෙම පැළ තොගය ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිසි බලපත්‍ර නොතිබූ අතර, වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත මෙන්ම ශාක නිරෝධායන පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති බව රේගුව සඳහන් කරයි.












