මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ බැතිමතුන් 3,500ක කෝටාවක් පමණක් වුවද, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව බැතිමතුන් 7,000ක් ලියාපදිංචි කරවාගෙන ඇති බවට බැතිමත්තු චෝදනා කරති. මෙලෙස ලියාපදිංචි වන සෑම බැතිමතෙකුගෙන්ම ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුවක් ලෙස රුපියල් 5,000ක මුදලක් අය කරනු ලැබේ. ඒ අනුව වන්දනා අවස්ථාව අහිමි වූ 3,500ක පමණ පිරිසගෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් දෙපාර්තමේන්තුව උපයාගෙන ඇති බවට වාර්තා වේ.
මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මොහොමඩ් නවාස් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අදාළ රුපියල් 5,000ක මුදල නැවත නොගෙවන ගාස්තුවක් බවයි. කෝටාවට වඩා වැඩි පිරිසක් ලියාපදිංචි කරගනු ලබන්නේ වන්දනා අවස්ථාව හිමිවූ අයෙකුට හදිසියේ සහභාගී වීමට නොහැකි වුවහොත් එම අවස්ථාව වෙනත් අයෙකුට ලබාදීමේ අරමුණින් බවත්, මෙවර යාමට නොහැකි වූවන්ගේ ගාස්තුව ලබන වසරේ ලියාපදිංචිය සඳහා යොදාගත හැකි බවත් ඔහු සඳහන් කළේය. හජ් කමිටුවේ සභාපති රියාස් මිහ්ලාර් මහතා පැවසුවේ වන්දනාව අහිමි වූවන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටු කරන බවයි.













