ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස අද (06) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙම හමුව පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින ගැඹුරු බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය වර්ධන අවස්ථා සහ සමාජ සුභසාධන මුලපිරීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ බවයි. ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සහ සැබෑ සහකරුවෙකු ලෙස කටයුතු කරන බව ද ඔහු මෙහිදී සහතික කර ඇත.
මෙම විශේෂ හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සමඟ අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණානාදන් ඉලන්කුමරන් සහ කිට්නන් සෙල්වරාජ් යන මහත්වරුන් ද එක්ව සිටියහ. මීට අමතරව ජවිපෙ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ සහ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනී යන මහත්ම මහත්මීන් ද මෙම දූත පිරිසට ඇතුළත් වූහ.













