ශ්‍රී ලංකාව සිය 78 වන නිදහස් දිනය සමරන පෙබරවාරි 04 වනදා, ඊට විරෝධය පළ කරමින් එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව පිරිසක් ලන්ඩන් නුවරදී දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ. ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන මධ්‍යම ලන්ඩනය හරහා ගමන් කර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස පිහිටි ඩවුනිං වීදිය අසලින් අවසන් විය.
ශ්‍රී ලංකාව නිදහස සැමරුවද, මෙරට දෙමළ ප්‍රජාවගේ අභිලාෂයන් ඉටු වී නොමැති බවත්, උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ප්‍රතික්ෂේප වෙමින් පවතින බවත් විරෝධතාකරුවෝ මෙහිදී ප්‍රකාශ කළහ. ලංකාවේ නිදහස් සැමරුම තමන්ට අදාළ නොවන බව පවසමින් ඔවුන් කළු කොඩි ප්‍රදර්ශනය කරමින් විවිධ සටන් පාඨ ඔස්සේ ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට උත්සාහ කළහ.














