2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ වැටලීම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පසුගිය වසර තුළ ශ්‍රී ලංකා පොලීසියේ සමස්ත කාර්ය සාධනය 50% සිට 60% දක්වා වර්ධනය වී ඇති බවයි.
පොලිස්පතිවරයාට අනුව, 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී අවි ආයුධ වැටලීම් දෙගුණයකින් සහ මත්ද්‍රව්‍ය වැටලීම් තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති අතර එය පොලිස් ඉතිහාසයේ වාර්තාගත මට්ටමකි. පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතින පසුබිමක වුවද, නිසි අධීක්ෂණය සහ කැපවීම මත මෙම ප්‍රතිඵල අත්කර ගත් බවත්, අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත නිලධාරීන් 4,500කට අධික පිරිසකට උසස්වීම් ලබා දෙමින් ඔවුන්ගේ ගැටලු විසඳීමට පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













