පෙබරවාරි 06 – දූෂණයෙන් තොර පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආර්ථික සමෘද්ධිය ගැන කතා කිරීමට නොහැකි විපක්ෂයේ ඇතැම් පිරිස්වල එකම සටන් පාඨය ජාතිවාදය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා අවධාරණය කළේ උතුරේ හෝ දකුණේ කිසිදු ප්‍රදේශයක යළි ජාතිවාදයට ඉඩ නොතබන බවත්, රටේ ශක්තිය පවතින්නේ සියලු ජාතීන්ගේ එකමුතුකම මත බවත්ය. අතීත උරුමයන් සුරකිමින් නව ලෝකයට ගැළපෙන ආර්ථික පරිවර්තනයක් සඳහා රජය කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ “දිට්වා” (Ditwah) සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානි වූ සහ නායයෑමේ අවදානමට ලක්වූ පවුල් නැවත පදිංචි කිරීමේ “ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ” (Rebuilding Sri Lanka) ජාතික වැඩසටහනට අද (06) පස්වරුවේ නියංගොඩදී එක්වෙමිනි. එහිදී තුම්පනේ, හාරිස්පත්තුව ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක පවුල් 146ක් සඳහා ඉඩම් සහ මූල්‍ය ප්‍රදානයන් පිරිනැමූ අතර, නව නිවසක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ද ජනාධිපතිවරයා සහභාගී විය. අවිධිමත් නීති මගින් මෙවැනි ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කළ නොහැකි බැවින් ඒ සඳහා හදිසි නීතිමය විධිවිධාන භාවිතා කරන බවත්, එය කිසිසේත්ම මර්දනය සඳහා යොදා නොගන්නා බවත් ඔහු මෙහිදී සහතික විය.













