ලාෆ්ස් (Laugfs) ගෑස් මිල ඉහළ දැමීමට සමගාමීව ඉදිරි කාලයේදී ආපනශාලා සහ අවන්හල්වල අලෙවි කරන ආහාර මිල ගණන් ද අනිවාර්යයෙන්ම ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. අද (07) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පෙන්වා දුන්නේ ගෑස් මිලට අමතරව සහල් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ද ඉහළ මට්ටමක පැවතීම මෙම තීරණයට හේතු වී ඇති බවයි.
වත්මන් රජය බලයට පත්වීමට පෙර ලබා දුන් පොරොන්දු ප්‍රකාරව ගෑස් මිල නිසි පරිදි නියාමනය කිරීමට කටයුතු කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී. මිල සංශෝධනය හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම ආපනශාලා හිමියන් ද දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත්, පිරිවැය කළමනාකරණය කරගැනීම සඳහා ආහාර මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.














