ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 422 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (06) දිනය තුළ පුද්ගලයින් 27,430 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 524 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව නිල නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරයි.
මෙම මෙහෙයුමේදී අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් පුද්ගලයින් 14 දෙනෙකු ද, වරෙන්තුකරුවන් 309 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 156 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව ඇත. රථවාහන පාලනය සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කර ඇති අතර, බීමත් රියදුරන්ට අමතරව අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ රියදුරන් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,826 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අවධාරණය කරයි.














