ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදන අපනයනය කිරීමෙන් පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 260ක හෙවත් රුපියල් කෝටි 8,000කට ආසන්න ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙය මෙරට ඉතිහාසයේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඉපයූ ඉහළම වාර්ෂික ආදායම ලෙස සටහන් වේ.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා සඳහන් කරන්නේ, සමස්ත අපනයන ආදායමෙන් ඩොලර් මිලියන 251ක්ම ලැබී ඇත්තේ කුරුඳු කූරු අපනයනයෙන් බවයි. සෙසු ආදායම් කුරුඳු පොතු, කොළ සහ කුරුඳු තෙල් මගින් උපයාගෙන තිබේ. මීට පෙර රටවල් 70කට පමණ සීමා වී තිබූ ශ්‍රී ලංකාවේ කුරුඳු වෙළෙඳපොළ 2025 වසර වන විට රටවල් 100කට අධික සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්ත කිරීමට හැකි වීම මෙම සුවිශේෂී ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වී ඇත.
‘සිලෝන් සිනමන්’ (Ceylon Cinnamon) සතු සුවිශේෂී ඖෂධීය ගුණය සහ සෞඛ්‍යාරක්ෂිත බව හේතුවෙන් ලෝක වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින්, 2026 වසරේදී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














