විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය ලෙස පැවැත්වුණු පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම අද (07) සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 147ක් රැස් කිරීමට සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03කදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය.
ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන ඉනිමේ මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා තරගය යම් අවස්ථාවක නෙදර්ලන්තය දෙසට හැරී තිබුණ ද, ඉනිමේ අවසන් භාගයේදී ෆහීම් අෂ්රෆ් සහ ෂහීන් අෆ්රිඩි එක්ව පාකිස්ථානය ජයග්‍රහණය කරා මෙහෙයවූහ. විශේෂයෙන්ම තරගයේ 18 වන පන්දුවාරයේදී ෂහීන් අෆ්රිඩි එල්ල කළ දැවැන්ත හයේ පහර ත්‍රිත්වය සහ හතරේ පහරක් සමඟින් ලබාගත් ලකුණු 19, පාකිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට තීරණාත්මක විය. මෙම ජයග්‍රහණයත් සමඟ පාකිස්ථානය මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රාහීව ආරම්භ කර ඇති අතර නෙදර්ලන්තය ලබාදුන් ප්‍රබල සටන ක්‍රීඩා විචාරකයන්ගේ ඇගයීමට ලක්ව තිබේ.














