ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරන ලෙසත්, ලලිත් සහ කුගන් අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණය මඟහැරීම හෙළා දකිමින් යාපනය නගරයේදී අද (07) දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි. මෙම විරෝධතාවයේ විශේෂත්වය වූයේ යාපනය කේන්ද්‍ර කරගත් සිවිල් සංවිධාන සමඟ දකුණේ සිංහල ක්‍රියාකාරීන් පිරිසක් ද එක්ව යුක්තිය ඉල්ලා හඬ නැගීමයි.
විරෝධතාකරුවන් අවධාරණය කළේ අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බවත්, ආරක්ෂක හේතූන් මත පෙනී සිටිය නොහැකි බව පවසමින් හිටපු ජනාධිපතිවරයා නීතියෙන් මඟහැරීම පිළිගත නොහැකි බවත්ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යෝජිත නව මර්දනකාරී නීති අත්හිටුවන ලෙස ද මෙහිදී ඉල්ලීම් ඉදිරිපත් විය. සමාජ අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාව හරහා උතුරු දකුණු සහෝදරත්වය සහ පොදු අයිතිවාසිකම් වෙනුවෙන් වූ ඒකාබද්ධ අරගලයක අවශ්‍යතාව විදහා දැක්වූ බව වාර්තා වේ.














