වත්මන් පාලනය යටතේ බුද්ධ ධර්මයට සහ ශාසනයට සිදුවන බව කියන අගතිදායක ක්‍රියා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා එළඹෙන 20 වැනිදා කොළඹදී දැවැන්ත පා ගමනක් සහ සත්‍ය ක්‍රියාවක් පැවැත්වීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය තීරණය කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පවත්වා ඇති අතර, ඒ සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මහාචාර්ය අගළකඩ සිරිසුමන හිමි සහ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා රැසක් සහභාගී වී ඇත.
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් දැනුවත් කර, අනුනායක හිමිවරුන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පා ගමන නාරාහේන්පිට අභයාරාමයේ සිට විහාරමහාදේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව අසල දක්වා ගමන් කිරීමට නියමිතය. ස්වාමීන් වහන්සේලා 2,500 නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ආගමික විරෝධතාව සඳහා කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන නායකයෙකුට සහභාගී වීමට ඉඩ නොදීමට ද සංවිධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. බුද්ධ ප්‍රතිමාව අසලදී විශේෂ සත්‍ය ක්‍රියාවක් පවත්වා පවතින තත්ත්වය පිළිබඳව ආශිර්වාද සහ ප්‍රාර්ථනා සිදු කිරීමට ද මෙහිදී සැලසුම් කර ඇත.














