සීගිරිය, ගලකොටුව ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ සිසුවියකගේ නිවසක් ඊයේ (06) රාත්‍රියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි චලනී කවිෂා සිතුමිණි දියණියගේ පොත්පත්, ඇඳුම් පැළඳුම් ඇතුළු සියලු දේපළ මෙම ගින්නෙන් අළු බවට පත්ව ඇතැයි සීගිරිය පොලිසිය පවසයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී සිසුවිය සහ ඇගේ මව අසල නිවසකට ගොස් සිට ඇති අතර, ඔවුන් සිය ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය ආරෝපණය (Charge) වීමට විදුලියට සම්බන්ධ කර නිවසින් බැහැරව ගොස් තිබේ. රාත්‍රී 10 ට පමණ හටගත් මෙම ගින්න මැඩපැවැත්වීමට ප්‍රදේශවාසීන්, පොලිසිය සහ දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත් වුවද, නිවසට සහ සිසුවියගේ අධ්‍යාපන උපකරණවලට සිදු වූ දැවැන්ත හානිය වළක්වා ගැනීමට නොහැකි වී ඇත. ජංගම දුරකථනය ආරෝපණය වෙමින් පවතින අතරතුර සිදු වූ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














