රත්මලාන, ශ්‍රී ධර්මාරාම පාර ප්‍රදේශයේ පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 21 හැවිරිදි තරුණයෙකු අමානුෂික ලෙස පහර දී ඝාතනය කර තිබේ. දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචි මෙම පවුල් දෙක අතර ඇති වූ ගැටුමේදී සැකකරුවන් විසින් ක්‍රිකට් පිත්තකින් සහ විකට් පොලුවලින් කළ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිස් අපරාධ අංශය විසින් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් සිව්දෙනෙකු අද (07) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර එකම පවුලේ සාමාජිකයන් සිටින බවට වාර්තා වන අතර, පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට මූලික හේතුව වී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














