ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ වේගයෙන් ඉහළ යමින් පවතින පරිගණක සහ අන්තර්ජාල ආශ්‍රිත අපරාධ (Cyber Crimes) පාලනය කිරීම සඳහා නව විශේෂ පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. ඊයේ (06) පොල්පිටිය නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වර්තමානය වන විට දිනකට පරිගණක ආශ්‍රිත අපරාධ 23ත් 25ත් අතර ප්‍රමාණයක් මෙරටින් වාර්තා වන බවයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අදාළ අපරාධ විමර්ශනය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමේ නවීකරණ වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොලීසිය වඩාත් කාර්යක්ෂම සහ අදූෂිත සේවාවක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත්, ඒ යටතේ දක්ෂ නිලධාරීන්ට නිසි ඇගයීම් ලබා දීමට මෙන්ම වැරදි කරන නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට ද දැඩි ක්‍රමවේද සකස් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














