විදේශගතව සිටින මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් සිවුදෙනෙකු වන වැල්ලේ සාරංග, රසල් ස්මිත්, ප්‍රංශ රූබන් සහ කුඩු ලාල් අතර සිදුවූ බව කියන විනාඩි 21ක ආන්දෝලනාත්මක හඬපටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. එම හඬපටය හරහා ඩුබායි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් මැඩලීමට එරට පොලිසිය ගෙන යන දැඩි ක්‍රියාමාර්ග හමුවේ ඔවුන් දැඩි තිගැස්මකට පත්ව ඇති බවත්, ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ඩුබායි සංචාරකයින්ට පහර දීමට ඔවුන් සැලසුම් කරන බවත් හෙළිදරව් වී තිබේ.
සංවාදයට අනුව, වැල්ලේ සාරංග මත්ද්‍රව්‍ය චෝදනා මත ඩුබායි පොලිසිය විසින් දින 10ක් රඳවාගෙන ප්‍රශ්න කර ඇති අතර, එහිදී තමන්ට දැඩි ලෙස පහර දුන් බව ඔහු පවසයි. ඩුබායි පොලිසියේ ප්‍රධාන ඉලක්කය ජූඩ් ප්‍රියන්ත සහ රසල් ස්මිත් බවත්, ඔවුන්ගේ ඡායාරූප පවා එරට විමර්ශකයින් සතු බවත් වැල්ලේ සාරංග මෙහිදී සිය සගයන්ට අනතුරු අඟවයි. තමන් ලංකාවේ පොලිසියට බය නැති වුවද ඩුබායි පොලිසියේ ක්‍රියාකලාපය හමුවේ දැඩි බියට පත්ව ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඔප්පු වුවහොත් පවුලේ සාමාජිකයන් ඉදිරිපිට ගෙල කපන බවට එරට නිලධාරීන් තර්ජනය කළ බවත් ඔහු හඬා වැටෙමින් ප්‍රකාශ කරයි.
මෙම තොරතුරු හමුවේ බියට පත්වන රසල් ස්මිත් නමැති අපරාධකරු පවසන්නේ, ඩුබායි පොලිසිය සහ එරට වැසියන් තමන්ට කරන මෙම “නොසලකා හැරීම්වලට” පළිගත යුතු බවයි. ඒ සඳහා ශ්‍රී ලංකාවට විනෝද චාරිකා සඳහා පැමිණෙන ඩුබායි පුරවැසියන් තෝරාගෙන ඔවුන්ට මෙරටදී ප්‍රහාර එල්ල කළ යුතු බවට ඔහු සිය සගයන්ට යෝජනා කරයි. මෙය මෙරට සංචාරක කර්මාන්තයට මෙන්ම ඩුබායි රාජ්‍යය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන තිබේ.














