ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක රියදුරාට, එම මාර්ගයේම ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් අද (07) පෙරවරුවේ ම්ලේච්ඡ ලෙස පහර දී තිබේ. හැටන් ලංගම ඩිපෝවේ ධාවන කළමනාකාරවරයා සඳහන් කළේ ලංගම බස් රථය නියමිත කාලසටහනට වඩා විනාඩි 5කට පෙර ධාවනය කළ බව පවසමින් පෞද්ගලික බස් රථයේ පිරිස මෙම පහරදීම සිදු කර ඇති බවයි.
ලිඳුල, මෙරායා නගරය ආසන්නයේදී පෞද්ගලික බස් රථය විසින් ලංගම බසය හරස් කර නවත්වා ඇති අතර, පසුව රියදුරු අසුනේ දොර විවෘත කර ලංගම රියදුරාට පහර දී තිබේ. එම අවස්ථාවේදී බස් රථය තුළ පාසල් දරුවන් ඇතුළු මගීන් විශාල පිරිසක් සිට ඇති අතර, මෙම ප්‍රහාරය බස් රථයේ සිටි මගියෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හැටන් ලංගම ඩිපෝ බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.














