“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලදී. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කැස්බෑව සහ සීතාවකපුර නගර සභා මෙන්ම හෝමාගම, දොම්පේ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, වත්තල, බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය සභා සඳහා නවීන පහසුකම් සහිත ජංගම පුස්තකාල රථ 10ක් සහ පොත් 9300ක ප්‍රමාණයක් බෙදා දීම සිදු විය.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මුදල් ප්‍රතිපාදන යටතේ ක්‍රියාවට නැංවුණු මෙම වැඩසටහන මඟින් ගම් මට්ටමින් කියවීමේ රුචිය වර්ධනය කරමින් දැනුමෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් බිහි කිරීම අපේක්ෂා කෙරේ. මෙහිදී උත්සවය ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ කලබලකාරී වත්මන් සමාජය තුළ ගුණගරුක මෙන්ම ශික්ෂණයෙන් යුත් මතු පරපුරක් ගොඩනැඟීම සඳහා මෙවැනි වැඩසටහන් අතිශයින් වැදගත් වන බවයි. මෙම ජංගම පුස්තකාල සේවාව මඟින් පාසල් දරුවන්ට සහ ග්‍රාමීය ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ නවීන පුස්තකාල අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදාවන අතර, ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය දිවයින පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමට නියමිත බව ද මෙහිදී අවධාරණය කෙරිණි.














