ත්‍රිකුණාමලය සනීශ්වරන් කෝවිල තමන්ට අයත් ස්ථානයක් බව පවසමින් කාන්තාවක විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අද පෙරවරුවේ එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක සමඟ කෝවිල වෙත පැමිණි මෙම කාන්තාව, කෝවිල් පරිශ්‍රය තුළ සිය වෙළඳ කටයුතුවල නිරත වෙමින් මෙම අයිතිවාසිකම් ඉදිරිපත් කර ඇත. මරතඩි ප්‍රදේශයේ පදිංචි, පහන් තිර වෙළඳාමේ නිරත වන මෙම කාන්තාව සනීශ්වරන් කෝවිල තමන්ගේ පරම්පරාවට අයත් ස්ථානයක් බවට පවසමින් කෝවිල් පරිපාලනයේ නියෝග ද නොතකා එහි ඇතුළත වෙළඳාම් කටයුතු සිදු කර තිබේ.
පෞද්ගලික අංශයට කෝවිල් භූමිය තුළ වෙළඳාම් කිරීම පරිපාලනය විසින් තහනම් කර තිබියදීත් ඇය මෙලෙස කටයුතු කිරීම ප්‍රදේශවාසීන්ගේ දැඩි අවධානයට ලක් විය. ඇය සමඟ පැමිණි භික්ෂූන් වහන්සේලා දෙනම කෝවිල තුළ පහන් දල්වා වන්දනාමාන කර ඇති අතර පසුව තමන් රැගෙන ආ පුටුවක වාඩි වී කිසිවක් ප්‍රකාශ නොකරම එතැනින් පිටව ගොස් ඇත. කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ කෝවිලට පැමිණි බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් අතර යම් නොසන්සුන්කාරී ස්වභාවයක් පවතින බව වාර්තා වේ.













