විදේශ රටවල වසර විසි තිහක පමණ කාලයක් පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සිය විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා නැවත මෙරටට පැමිණ ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සහ තානාපති සේවා අංශ වාර්තා කරයි. මෙලෙස පැමිණි පිරිස අතර විදේශයන්හි රැකියා කර එම රටවලින් විශ්‍රාම ලැබූවන් මෙන්ම, විදේශගතව සිටින තම දූ දරුවන් අසල පදිංචියට ගොස් සිටි විශ්‍රාමික මවුපියන් ද විශාල වශයෙන් සිටින බව අනාවරණය වේ.
උපන් බිමෙහිම අවසන් ගමන් යාමට ඇති බලාපොරොත්තුව, ඥාති සබඳතා සහ අන්‍යෝන්‍ය බැඳීම් කෙරෙහි ඇති ලැදියාව මෙන්ම විදේශයන්හි සිටියදී දැනුණු හුදකලා බව දුරු කර ගැනීම මෙම පිරිස යළි ලංකාවට පැමිණීමට ප්‍රධාන හේතු වී ඇත. විදේශයන්හි දියුණු සැප පහසුකම් පැවතියද, ආධ්‍යාත්මික සැනසීම සහ සංස්කෘතිකමය බැඳීම් සොයා මෙලෙස පිරිස් මෙරටට පැමිණීම විශේෂත්වයකි.














