තැපැල් සේවයේ පවතින හත්දහසකට ආසන්න පුරප්පාඩු සංඛ්‍යාව හේතුවෙන් ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීමට නොහැකි වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. තැපැල් සේවය සඳහා සේවකයන් 26,000ක් අවශ්‍ය වුවද මේ වන විට සේවයේ නිරතව සිටින්නේ 19,000කට ආසන්න පිරිසක් පමණක් බවත්, ඉන් තැපැල්කරු සේවයේ පමණක් පුරප්පාඩු 1,500ක් පවතින බවත් එම සංගමයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කරයි. සේවක හිඟය නිසා ඇතැම් ප්‍රදේශවලට ලිපි බෙදා දීම සතියකට දින දෙකකට හෝ තුනකට සීමා වී ඇති අතර, සිටින සේවකයන්ට ද අධික වැඩ පීඩනයකට මුහුණ දීමට සිදු වී ඇත.
තැපැල් ස්ථානාධිපති සේවයේ පුරප්පාඩු 2,500ක් පමණ පවතින අතර කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල ද පුරප්පාඩු රැසක් පවතින බව වාර්තා වේ. පසුගිය කාලයේදී අනියම් සහ ආදේශක පදනමින් සිටි පිරිස් ස්ථීර සේවයට ඇතුළත් කර ගත්තද, එමඟින් පවතින සැබෑ පුරප්පාඩු ගැටලුවට විසඳුම් නොලැබෙන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. මෙම ගැටලුව නිරාකරණය කර තැපැල් සේවය කාර්යක්ෂම කිරීමට නම් අනිවාර්යයෙන්ම බාහිරින් නව බඳවා ගැනීම් සිදු කළ යුතු බව වෘත්තීය සමිති වැඩිදුරටත් අවධාරණය කරයි.














