නායයෑම් සහ ගිලා බැසීම් හේතුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සැලසුම් එළඹෙන මාර්තු 31 වනදාට පෙර ලබා දීමට කටයුතු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මෙම කටයුතු සිදු කෙරෙන අතර, සිදු කරන ලද පර්යේෂණ අනුව හානියට පත් ස්ථාන නැවත සකස් කළ හැකි මට්ටමේ පවතින බව එම සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා තහවුරු කළේය.
දැනටමත් හානියට පත් ස්ථාන පිළිබඳ අවශ්‍ය දත්ත ලබාගෙන ඇති අතර, එම ස්ථාන පිළිසකර කිරීමට අදාළ නිර්මාණ සහ ඉංජිනේරු සැලසුම් සකස් කිරීමේ අවසන් අදියරේ පවතින බව වාර්තා වේ. මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක මෙලෙස නායයෑම් සහ ගිලා බැසීම් වාර්තා වූ අතර, මෙම නව සැලසුම් මඟින් මාර්ගය වඩාත් සුරක්ෂිතව නැවත විවෘත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














