ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (08) මැලේසියාවට ළඟා වූ අතර එහිදී ඔහු මැලේසියානු අගමැති අන්වර් ඉබ්රාහිම් මහතා හමුවීමට නියමිතය. 2024 අගෝස්තු මාසයේදී දෙරට අතර ඇති කරගත් ‘විස්තීරණ මූලෝපායික හවුල්කාරිත්වයෙන්’ පසු මෝදි මහතා මැලේසියාවේ සිදුකරන පළමු සංචාරය මෙය වේ.
පුත්‍රජයාවේ පිහිටි මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී පැවැත්වෙන මෙම හමුවේදී සෞඛ්‍ය සේවා, ජාතික ආරක්ෂාව සහ ශ්‍රමිකයින්ට අදාළ සහයෝගීතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය. විශේෂයෙන්ම අර්ධ සන්නායක (Semiconductor) ක්ෂේත්රයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ඩෝනියර් (Dornier) ගුවන් යානා අලෙවිය මෙන්ම ප්‍රහාරක ගුවන් යානා සහ සබ්මැරීන නඩත්තු කිරීම ඇතුළු ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරේ.
පසුගිය වසරේදී ඉන්දියාව සහ මැලේසියාව අතර වෙළෙඳ ගනුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 18.6ක් ලෙස වාර්තා විය. මැලේසියාව ප්‍රධාන වශයෙන් ඉන්දියාවට තල්තෙල් සහ විදුලි උපකරණ අපනයනය කරන අතර ඉන්දියාවෙන් කෘෂිකාර්මික හා රසායනික නිෂ්පාදන ආනයනය කරනු ලබයි.














