2019 මාර්තු 15 වන දින නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි පල්ලි දෙකකට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 51 දෙනෙකු ඝාතනය කළ බ්‍රෙන්ටන් ටැරන්ට් (Brenton Tarrant) හට පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමට එරෙහි අභියාචනා විභාගය අද (08) ආරම්භ විය. වසර 7කට පමණ පසු තමා මීට පෙර ඉදිරිපත් කළ වරද පිළිගැනීමේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට සහ තමාට පැනවූ දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා මෙම 35 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයා මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගතව සිටි සමයේ තමාට විඳීමට සිදු වූ “අමානුෂික සහ වධහිංසාකාරී” තත්ත්වයන් හේතුවෙන් තර්කානුකූල තීරණ ගැනීමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් වරද පිළිගත් බවත් ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මෙම පියවර ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි කම්පනයට පත් කර ඇති අතර, මෙය තමාගේ අන්තවාදී මතවාද ප්‍රචාරය කිරීමට ඔහුට ලැබෙන අවස්ථාවක් කරගනු ඇතැයි ඔවුහු බිය පළ කරති. නවසීලන්ත නීති ඉතිහාසයේ සමාවක් නොමැතිව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පළමු පුද්ගලයා ටැරන්ට් වන අතර, අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත දින 20 ක කාලය ඉක්මවා වසර පහමාරකට පසු මෙවැනි ඉල්ලීමක් කිරීමට හේතුව ඔහු අධිකරණය හමුවේ පැහැදිලි කළ යුතුව තිබේ.













