ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ හිටපු ඉහළ නිලධාරීන් පිරිසක් 2022-2023 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් ඉන්ධන ලීටර් 23,313ක් චක්‍රලේඛ නියෝග උල්ලංඝනය කරමින් වැඩිපුර භාවිත කර ඇති බව විගණන වාර්තාවලින් අනාවරණය වී තිබේ. මෙම ඉන්ධන සඳහා වැය වූ මුදල් අදාළ නිලධාරීන් විසින් නැවත ගෙවිය යුතු වුවද, පසුගිය වසරේ අප්‍රේල් මාසය වන තෙක්ම ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මීට අමතරව, මණ්ඩලයේ හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික නිවෙස් සඳහා හිටපු සාමාන්‍යාධිකාරීවරයාගේ අනුමැතිය මත මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන් යෙදවීමෙන් රුපියල් ලක්ෂ 58ක පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ද හෙළි වී ඇත. එමෙන්ම ‘ප්‍රජා ජල අභිමානී’ වැඩසටහන යටතේ රුපියල් කෝටි 175ක් වැය කර ආරම්භ කළ ජල ව්‍යාපෘති 244කින් ව්‍යාපෘති 210ක වැඩ වසර පහක් ගතවීත් අවසන් කර නොමැති වීම හේතුවෙන් ජනතාවට ජල පහසුකම් ලබාදීමට අපොහොසත් වී ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.













