අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ද්වේෂ සහගත ලෙස කටයුතු කරමින් අධිකරණයට අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරු වූ සුසිල් ජයතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය. සිරදඬුවමට අමතරව ඔහු නීතිඥ ධුරයෙන් සහ නීතිඥ භාවයෙන් නෙරපා හරින ලෙස ද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබේ.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිලි තුනක් විභාග කිරීමෙන් අනතුරුව විනිසුරු අචල වෙංගප්පුලි මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. වගඋත්තරකරු තිදරු පියෙකු වීම සහ ඔහුට පෙර වැරදි නොමැති වීම සැලකිල්ලට ගත් අධිකරණය, මෙම සිරදඬුවම ඔහු රිමාන්ඩ් භාරයට පත් කළ 2024 ජූලි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නේය. නඩු විභාගයක් අතරතුර අධිකරණයට අපහාසාත්මක ලෙස සහ නීතිඥවරයෙකුට නොගැලපෙන අයුරින් කරුණු ඉදිරිපත් කිරීම ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාව විය.














