2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 06 වන තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (08) පැවති තරගයෙන් අයර්ලන්තය ලකුණු 20කින් පරාජය කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 163ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර, කමිඳු මෙන්ඩිස් පන්දු 19කදී වේගවත් ලකුණු 44ක් ලබා ගත්තේය.
ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 143ක් පමණි. අයර්ලන්තය වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 40ක් සහ රොස් ඇඩෙයාර් ලකුණු 34ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් දවාගනිමින් අයර්ලන්ත ඉනිම බිඳ දැමීමට සමත් විය. මතීෂ පතිරණ කඩුලු 02ක් දවාගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය.













