ඖෂධ සහ ජෛව ඉංජිනේරු උපකරණවල පවතින උග්‍ර හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක දැඩි සත්කාර ඒකකවල (ICU) සේවා සැපයීම අඩාල වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. බැක්ටීරියා අඩංගු බවට තහවුරු වූ ‘ඔන්ඩෙස්ටරොන්’ එන්නත භාවිතය තහනම් කිරීමත්, ඒ වෙනුවට ලබාදෙන ‘මැක්සලොන්’ වැනි ආදේශක ඖෂධ පවා රජයේ සහ පෞද්ගලික අංශයේ නොමැති වීම මෙම අර්බුදය තීව්‍ර වීමට හේතුවී තිබේ.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ ඖෂධ හිඟයට අමතරව රෝගීන්ගේ තත්ත්වය නිරීක්ෂණය කරන යන්ත්‍ර සඳහා අවශ්‍ය උපාංග සපයා ගැනීමේ දැඩි ප්‍රමාදයක් පවතින බවයි. ස්නායු දැඩි සත්කාර ඒකක ඇතුළු අතිශය සංවේදී ප්‍රතිකාර අංශවල පවතින මෙම උපකරණ හිඟය රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කිරීමට හේතු වී ඇති බවත්, ජෛව විද්‍යා ඉංජිනේරු ඒකකය මගින් අවශ්‍ය උපාංග සැපයීමේදී පවතින බාධා වහා විසඳිය යුතු බවත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.














