ලෙබනනයේ උතුරු ප්‍රදේශයේ ට්‍රිපෝලි (Tripoli) නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් හදිසියේ කඩාවැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (08) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගොඩනැගිල්ල කඩාවැටුණු අවස්ථාවේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 6 දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන රෝහල්ගත කර ඇත. තවමත් සුන්බුන් යට සිරවී සිටින බවට සැකකෙරෙන පිරිස් මුදාගැනීම සඳහා හමුදාව සහ සිවිල් ආරක්ෂක අංශ එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.
නඩත්තු කටයුතු නිසි ලෙස සිදු නොකිරීම සහ ගොඩනැගිල්ලේ පවතින දුර්වල තත්ත්වය මෙම අනතුරට හේතුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ හේතුවෙන් අසල පිහිටි අනෙකුත් අනාරක්ෂිත ගොඩනැගිලිවල සිටින පදිංචිකරුවන් ද වහාම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.














