ලෝක බැංකු ආධාර මත හදිසි එන්නත්කරණ වැඩසටහනක් ඇරඹෙයි
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළවල් වෙනුවෙන් මේ වන විට රුපියල් ලක්ෂ 32,000කට (රුපියල් බිලියන 3.2) අධික වන්දි මුදලක් ගොවීන් වෙත ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම වන්දි මුදල් ලබා දී ඇත්තේ ආපදාවෙන් විනාශ වූ ගවයන්, ඌරන්, එළුවන් මෙන්ම බ්‍රොයිලර් සහ ලේයර් කුකුළන් සහිත ගොවිපොළවල් සඳහාය. වන්දි ගෙවීමට අමතරව, ආපදාවෙන් පසු සතුන් ලෙඩරෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ද ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්ෂ 25,000ක මුදලක් වෙන් කර තිබේ.
මාස දෙකක කාලයක් තුළ මෙම එන්නත්කරණ ක්‍රියාවලිය අවසන් කිරීමට අපේක්ෂිත අතර, ආපදාවෙන් විනාශ වූ ගොවිපොළවල් යළි ප්‍රතිසංස්කරණය කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ද අඛණ්ඩව ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














