ලකුණු බින්දුවට වැඩිම වාර ගණනක් දැවී ගිය පිතිකරුවා ලෙස වාර්තා අතරට
අයර්ලන්තයට එරෙහි තරගයේදී රුවන්ඩා ක්‍රීඩකයාගේ වාර්තාව බිඳ දමයි
විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකු මුහුණ දීමට අකමැතිම වාර්තාවක් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක ඊයේ (08) සමත් විය. ඒ ජාත්‍යන්තර විස්සයි20 පිටියේ වැඩිම වාර ගණනක් ලකුණු නොලබා (Duck) දැවී ගිය පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවමිනි.
අයර්ලන්තය සමඟ පැවැති තරගයේදී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යාම හේතුවෙන් දසුන් ශානක මෙම වාර්තාවට හිමිකම් කීවේය. ඒ අනුව ඔහු මෙතෙක් ක්‍රීඩා කළ ජාත්‍යන්තර විස්සයි20 තරග අතුරින් තරග 16කදී ලකුණු නොලබා දැවී ගොස් තිබේ.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ තරග 15කදී ලකුණු නොලබා දැවී ගොස් සිටි රුවන්ඩාවේ සැපී බිමෙන්යිමානා (Zappy Bimenyimana) ක්‍රීඩකයා විසිනි. ඊයේ දිනයේ වාර්තා වූ මෙම දැවී යාමත් සමඟ දසුන් ශානක එම වාර්තාව අභිබවා යමින් ලෝක ලැයිස්තුවේ පෙරමුණට පැමිණ ඇත.














