කළුතර සෙන්ට්‍රල් හන්දිය, පැරකුම් මාවත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිවසක් ඉදිකිරීම සඳහා පොළොව සකස් කරමින් සිටියදී එහි තිබී ජීවී මෝටාර් උණ්ඩ කිහිපයක් හමුවී තිබේ. නිවසේ වත්ත සංවර්ධනය කිරීමට බැකෝ යන්ත්‍රයක් යොදාගෙන පස් හාරමින් සිටි අවස්ථාවේදී මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සැලවූ වහාම කළුතර දකුණ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ආරක්ෂාව තර කර ඇති අතර, උණ්ඩ පරීක්ෂා කිරීම සහ නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සහය ඉල්ලා තිබේ.
මෙම මෝටාර් උණ්ඩ එම ස්ථානයට පැමිණියේ කෙසේද සහ ඒවා කොපමණ කාලයක් භූගතව තිබුණේද යන්න පිළිබඳව කළුතර දකුණ පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන තෙක් අදාළ ස්ථානයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට ද පියවර ගෙන ඇත.














