නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනී නර්ගීස් මොහම්මදීගේ සිරදඬුවම තවත් වසර 7 කින් දීර්ඝ කිරීමට ඉරාන අධිකරණයක් තීන්දු කර ඇති බව ඇගේ නීතීඥවරු වාර්තා කරති. 2023 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන විටත් ඇය ඉරාන වැසියන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිටියාය.
දැනට 53 හැවිරිදි වියේ පසුවන මොහම්මදී තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේ රඳවා සිටින අතර, බන්ධනාගාරය තුළ තමන්ට සිදුවන කෙණෙහිලිකම්වලට විරෝධය පළ කරමින් ඇය පසුගිය පෙබරවාරි 2 වැනිදා සිට යළිත් උපවාසයක් ආරම්භ කර ඇති බව සඳහන් වේ. ඉරාන රජයේ දැඩි මර්දනය හමුවේ වුවද ඇය අඛණ්ඩව සිය අරගලය ඉදිරියට ගෙන යාම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.














