තායිලන්තයේ පැවති 02 වන ජාත්‍යන්තර ජනකළා උළෙලේදී ලොව රටවල් රැසක් අභිබවා ප්‍රථම ස්ථානය දිනාගනිමින් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ “මාත්‍රා” නර්තන කණ්ඩායම ඊයේ (08) රාත්‍රී දිවයිනට පැමිණියහ. පෙබරවාරි 03 සිට 08 දක්වා බැංකොක් නුවර පැවති මෙම උළෙල සඳහා රටවල් 05ක ජනකළා කණ්ඩායම් 10ක් සහභාගී වී සිටි අතර, උඩරට, පහතරට සහ සබරගමු නැටුම් සම්ප්‍රදායන්ගේ විශිෂ්ට සංකලනයක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට සමත් විය.
කණ්ඩායම් ජයග්‍රහණයට අමතරව, උළෙලේ හොඳම නර්තන ශිල්පිනියට හිමි රන් පදක්කම මල්කි ඉමාෂා විසින් ද, හොඳම නර්තන ශිල්පියාට හිමි රන් පදක්කම මධුක කවිෂාන් විසින් ද දිනාගැනීම විශේෂත්වයකි. ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජයග්‍රාහී ශිල්පීන් පිළිගැනීම සඳහා ජාත්‍යන්තර ජනකළා සංවිධානයේ සභාපති තරිඳු ධනංජය මහතා ඇතුළු නිලධාරීන් සහ පවුලේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.














