ශ්‍රී ලංකාවේ දෙමාපියන් අතින් දරුවන් වැඩිපුරම අපයෝජනයට ලක්වන දිස්ත්‍රික්කයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කය හඳුනාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාමිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නීය. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය.
බදුල්ල දිස්ත්‍රික්කයේ වතුකරයේ ජීවත්වන දරුවන් 3,000කට අධික පිරිසකට මෙතෙක් උප්පැන්න සහතික නොමැති වීම මෙම දරුවන් සමාජීය වශයෙන් අනාරක්ෂිත වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඔවුන් වෙනුවෙන් ‘වයස සහතික’ (Presumed age certificates) ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය. දෙමාපියන් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මෙන්ම නූගත්කම නිසා දරුවන්ට එරෙහි හිංසනයන් ඉහළ ගොස් ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
මීට අමතරව, ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දරුවන් 103 දෙනෙකුට තම මව්පියන් හෝ දෙදෙනාගෙන් එක් අයෙකු අහිමි වී ඇති අතර, ජනාධිපති උපදෙස් පරිදි ඔවුන්ගේ ආරක්ෂාව සහ අනාගතය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.
බදුල්ල කාන්තා හා ළමා ඒකකයේ දත්තවලට අනුව, 2025 වසර වන විට දිස්ත්‍රික්කයෙන් ස්ත්‍රී දූෂණ සහ ළමා අපයෝජන සිද්ධීන් 83ක් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි 273ක් වාර්තා වී තිබේ. මව හෝ පියා විදේශගත වීම නිසා අවදානමට ලක්ව ඇති දරුවන් 51 දෙනෙකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මාසිකව නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් (Monitoring) ආරම්භ කර ඇත.














