ප්‍රකට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු සහ ‘Apple Daily’ පුවත්පතේ නිර්මාතෘවරයා වන ජිමී ලායි (Jimmy Lai) හට වසර 20ක සිරදඬුවමක් නියම කිරීමට හොංකොං අධිකරණයක් අද (09) පියවර ගත්තේය. පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහු ජාතික ආරක්ෂක නීති උල්ලංඝනය කළ බවට වරදකරු වීමෙන් පසු මෙම තීන්දුව ලබා දී ඇති අතර, චීනය විසින් හඳුන්වා දුන් මතභේදාත්මක ජාතික ආරක්ෂක නීතිය යටතේ පුද්ගලයෙකුට ලබා දුන් දරුණුතම දඬුවම මෙය ලෙස සැලකේ.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ද දරන ලායි, හොංකොං පාලනයට එරෙහිව හඬ නැගූ ප්‍රබලතම විවේචකයෙකු වූ අතර චීනය විසින් ඔහුව හඳුන්වනු ලබන්නේ ‘ද්‍රෝහියෙකු’ ලෙසයි. ලායිට අමතරව ඔහුගේ පුවත්පතේ හිටපු විධායක නිලධාරීන් හය දෙනෙකුට ද වසර 6 සිට 10 දක්වා කාලයකට සිරදඬුවම් නියම කර ඇත. තමන්ට එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ ලායි අවධාරණය කළේ තමන් පෙනී සිටියේ හොංකොංහි නීතියේ ආධිපත්‍යය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් බවයි.














