පෘතුගාලයේ ඊයේ (08) පැවැති ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවන වටයෙන් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට මධ්‍ය වාමාංශික සමාජවාදී පක්ෂයේ අපේක්ෂක ඇන්ටෝනියෝ ජෝස් සේගුරෝ සමත් විය. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 95ක් ගණන් කර අවසන් වන විට 63 හැවිරිදි සේගුරෝ සියයට 66ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටි අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ දැඩි දකුණේ මතධාරී ඇන්ඩ්‍රේ වෙන්චුරා ලබාගෙන තිබුණේ සියයට 34ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. පෘතුගාල ඉතිහාසයේ අන්ත දකුණේ මතධාරී අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වුවද සේගුරෝ හමුවේ ඔහු පරාජයට පත් විය.
පවතින අයහපත් කාලගුණය සහ ගංවතුර තත්ත්වය හමුවේ වුවද ඡන්දදායකයින් උද්‍යෝගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අතර ඇතැම් පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයක ඡන්ද විමසීම ගංවතුර හේතුවෙන් කල් තැබීමට සිදු විය. සේගුරෝ සිය මැතිවරණ ව්‍යාපාරය පුරාම තමන් නවීන සහ මධ්‍යස්ථ වාමාංශිකයෙකු ලෙස හඳුන්වා දුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරන බවට පොරොන්දු විය. පෘතුගාලයේ ජනාධිපති ධුරය බොහෝ දුරට නාමික තනතුරක් වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇතුළු තීරණාත්මක බලතල කිහිපයක් ජනාධිපතිවරයා සතුවේ. නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ සේගුරෝ ලබන මාර්තු මස මුලදී වත්මන් ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසාගෙන් පසුව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.














